පළමු සිංහල මුද්‍රණ ඇසුරෙන් අලුත් සිංහල රුවකුරක් නිමැවුණු හැටි – ColomboType #07

ලංකාව තුල සිංහල මුද්‍රණය ඇරඹෙන්නේ 1737 වසරේ දී. ඒ මීට වසර 283 කට පෙර ලංකා ලන්දේසි මුද්‍රණාලය විසින්. එකී මුද්‍රණාලය විසින් මුද්‍රිත මුල් ලේඛණ ආශ්‍රයෙන් 2016 වසරේදී ජනක අත්තනායක සහ මූනියැක් සහයෝගයෙන් “ගෝල්” රුවකුර නිර්මාණය විය. මෙවර, ColomboType #007 තේමාව උනේ ඉතිහාසයෙන් බිහිවුණු මේ අලුත් රුවකුර.

“ගෝල්” රුවකුරේ නිර්මාතෘ ජනක අත්තනායක, මොරටුව විශ්ව විද්‍යාලයේ සන්නිවේදන නිර්මාණකරණය පිළිබඳ ගෞරව උපාධිය හිමි නිර්මාණ වෘත්තිකයෙකි. ඔහු නිර්මාණ ක්ෂේත්‍රයේ විවිධ ඉසවු ඹස්සේ තම දස්කම් නිරූපිත පළපුරුදු නිර්මාණකරුවෙකු වන අතර සංකල්ප නිර්මාණය, රුවකුරු නිර්මාණය, නිර්මාණ පර්යේෂණ, නිර්මාණාත්මක ලිවීම සහ වීඩියෝ නිෂ්පාදනය පිළිබඳ දක්ෂයෙකි. ඔහු මූනියැක් ආයතනයේ සීමාවාසික පුහුණුව ලබන සමයේ “ගෝල්” රුවකුර නිර්මාණය පිළිබඳ මුල් අදහස් පිළිසිඳ ගන්නා ලද අතර පසුව විශ්වවිද්‍යාලයේ අවසන් වසර ව්‍යාපෘතිය ලෙස එම නිර්මාණයේ මුල් සංස්කරණය එළිදක්වන ලදී. ඉන්පසුව වැඩිදුරටත් දියුණු කරන ලද රුවකුරු මෝස්තරය 2018 සැප්තැම්බර් මාසයේ මහවැලි කේන්ද්‍රයේ පැවැත්වුණු Akurucon සැමරුම් උළෙල අවසානයේ නිදහස් නිකුතුවක් ලෙස එළිදක්වන ලදී.

පළමු වරට “ගෝල්” රුවකුර ගැන සවිස්තරාත්මක සංවාදයක යෙදෙන ජනක, රුවකුර නිර්මාණ ක්‍රියාවලිය, එහි රසමුසු තැන් මෙන්ම රුවකුරු නිර්මාණයේ දී මතුවන නොයෙකුත් අභියෝග සහ ඒවාට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. මෙම සංවාදය, රුවකුරු නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින ඔිනෑම අයෙකුට වැදගත් වේ යැයි අපි සිතමු.

ඉතිහාසයෙන් අලුත් අකුරක් නමින් සංවිදානය වූ Colombo Type #007, 2020 දෙසැම්බ​ර් 19වන දින සවස 6.30 සිට අකුරු YouTube නාලිකාව හරහා සජීවීව විකාශනය විය. පහත සබැඳිය ඔස්සේ ඔබට එහි පටිගත කිරීම නැරඹිය හැකියි. සංවාදය මෙහෙය වූයේ කෝසල සෙනෙවිරත්න විසින්.